Friday, August 6, 2010

සීත කඳුකරයේ රැයක්...

ඝනඳුර අතර සිසිලස ගත             වෙලාගෙන
ගෙවෙනා රැයද මීදුමෙකින්           වැසීගෙන
මා හද පතුලෙ නැගෙනා මිහිරි        සතුටෙන
හිත ගත නැහැය විනිවිද යයි මඳ          පවන

මඳ පවනකින් පිරෙනා මගෙ හද          පතුළ
මඳ පින්නකින් වැඩිවිය මා ගත            සිසිළ
මඳ එළියකින් දිළෙනා තරු කැට       කැකුළ
මීදුම නිසා නොපෙනී යයි තරු            මඬළ

හෝ ගා කඩා හැලෙනා දිය ඇලි         පිරිලයි
කඳුකරයේ තේ දළු වතු සැම            නිසළයි
මඳ එළියකින් දිළෙනා පිත්තල          පහනයි
සතර දිශාවෙම සිසිලස රජ           කෙරුණයි

තේ වතු අතරින් ඇළ දොළ ගලා            යතී
සීතල ජලය මා මුව සෙමින් සිප             ගතී
සොම්නස අතර සිසිලස ගත වෙලා         ගතී
මා මුව මඬළ සතුටින් එය පිනා             යතී

මෙය මවිසින් 16වැනි වියේදී, එනම් 11වසර පන්තියේ ඉගෙනුම ලබන අවදියේ නිර්මාණය කරන ලද කවි පන්තියකි. එම වසරේ අන්තර් පාසල් පද්‍ය රචනා තරඟය සඳහා යොමු කිරීමට සිසුවෙක් තෝරා ගැනීමට අවශ්‍ය විය.ඒ සඳහා අප පන්තියේ සිසුන් සියල්ලටම කවි පැදි නිර්මාණය කිරීමට එවකට අපගේ සිංහල විෂය භාර ගුරුතුමා වූ අමරදාස මයා විසින් අපට නියම කරන ලදී. මෙම කවි පන්තිය ඒ සඳහා නිර්මාණය කරන ලද්දක් වන අතර පහතින් දැක්වෙන්නේ එහි මුල් පිටපතයි.



2000.02.

අතීතය...

මා කුඩා කළ නිර්මාණය කරන ලද කවි පන්ති සමහරක් තවම මා සතුව තිබේ. එම නිර්මාණ නැවත අධ්‍යනය කිරීමේදී එකළ මාගේ තිබුණු අදහස් පිළිබිඹු වීම තුළින් සියුම් තෘප්තියක් ලැබුවෙමි. අපගේ සමහර අදහස්වල වෙනස් වීමත්, සමහර අදහස්වල නොවෙනස් වීමත් කාලයත් සමඟ අපව සමාජය හමුවේ දිගහැරෙන ආකාරයට හා සමාජය අපව හඳුනාගන්නා ආකාරයට බලපෑමක් එල්ල කරනු ඇතැයි සිතමි. එම අතීතයේ සමහර නිර්මාණ අධ්‍යනයේදී සිත තුළ සියුම් ලජ්ජාශීලී ස්වාභාවයක් හටගන්නේ ඉහත දක්වන ලද වෙනස හඳුනාගන්නට ලැබීමෙන් යැයි හැඟේ.

මෙම නිර්මණ ආරක්ෂා කිරීමේදී මගේ මව විසින් දරන ලද ප්‍රයත්නයද අගය කළ යුතුමය. ඇය විසින් ඒවා ලිපි ගොනුවක බහා සුරක්ෂිතව තබා ඇතත් දැන් දුර්වර්ණ වෙමින් හා කාවුන්ගෙන් හානි පැමිණෙමින් පවතී. ඉන් තෝරාගත් සමහරක් මෙහි මෙතැන් සිට සටහන් කරන්නේ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට පමණක් නොව ඔබ වර්තමානයේ හඳුනන මා හා අතීතයේ සිටි මා ගැන අවබෝධයක්ද ලබා දෙන අටියෙනි.

තව වසර ගණනාවකින් වර්තමාන නිර්මාණද අතීතයට එක්වෙනු ඇත. එම නිර්මාණද, අතීතාවර්ජනයේදී තෘප්තියක් ලබා දෙනු ඇත.

2010.08.06(සිකු)

Wednesday, June 30, 2010

කඳුළ...

නෙත් යුග වටකර කඳුළැලි
බිමට වැටෙන්නට තැනුවත්
ඒ කඳුළැලි සිරකරගෙන
සිනහ නඟන්නම්
කඳුළු බිංදු මා නෙතු මත
වියලී යාදෙන්

සිනහ සලන ඔබ නෙතු යුග
ඔහු හා දඟ කරනා යුරු
අසරණ වූ මා දෙනෙතට
හමු නොම වීයන්
මගේ මතක අතීතයට
එක් වූවාදෙන්

ඈතක දුර අතීතයේ
සිනහ දුන්න ඔය දෙනෙතට
කඳුළක් යළි එක් නොවන්න
පෙරුම් පුරන්නම්
ඒ සුන්දර යටගියාව
මැකී ගියාදෙන්

2010.06.29(අඟ) ගෙදර යන ගමන්...

Monday, May 3, 2010

තනිකම...

තනිවී උන්නෙම් මා
තනිකමේ වෙලී
එහෙත්, දැනුනේ නැත මට
මාගේ තනිකමේ තරම

කලක් ගතවී ගිහින්
තනිකමම උරුමයයි
දැනගත්තෙම් මා
ඈ තවත් තනි නැති බව

දැන් මා තනිය
නිසැකයෙන් වටහාගතිමි
මාගේ තනිකමට
දැන් අරුතක් ඇත.

2010.05.01(සෙන)

Monday, October 26, 2009

ලියන්නට යමක්...

බ්ලොග් එකක් ලියන්නට ආරම්භ කළද, ලියන්නට යමක් සොයාගැනීම අපහසු කාර්යයක් යැයි සිතුනි. නමුත්, කල්පනා කරන විට ලියන්නට බොහෝ දේ ඇති බව අවබෝධ විය.

Friday, October 23, 2009

බ්ලොග් සටහනේ ආරම්භය...

සිංහලෙන් යමක් ලියන්නට සිත්විය. එය මෙලෙස ආරම්භ කරමි.